Thursday, January 22, 2015

'මහරජ ගැමුණු'



මනුෂ්‍යත්වයත්, ශ්‍රී සද්ධර්මයත් වෙනුවෙන් තම ජීවිත පමණක් නොව, ආත්ම විමුක්තිය ද පරිත්‍යාග කළ ශ්‍රේෂ්ඨ මිනිසුන් පිළිබඳ කථාව....

'මා යුධ කළේ රුධිරය දැකීමට ඇති ආශාවක් නිසා නොවෙයි. ශක්තිවන්තයා ජයග්‍රාහකයා යැයි කීමටත් නොවෙයි. මනුෂ්‍යත්වය වෙනුවෙන් ධර්මය ආරක්‍ෂාකොට දීමටයි. ඒ ධර්මය රකින රට ආරක්‍ෂාකොට දීමටයි.'' - මහරජ ගැමුණු

ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවස තරමේ ඉන්දියාවේ දක්‍ෂිණාපථ රාජ්‍යයන් යටත් කළ, කාලිංගයේ ඛාරවේල රජු යටතේ, සෙබළෙකු සහ චරපුරුෂයකු වශයෙන් කටයුතු කළ අතිශය විජිගීෂාත්මක තරුණයකු වූ එළාර, පසු කලෙක පාරසමුද්‍රික නැවිපතියකු වශයෙන් කටයුතු කරන මුත් ඔහු ලංකාද්වීපයට පා තබන්නේ අනාරක්‍ෂිත සෞභාග්‍යමත් රාජ්‍යයක් අත්පත් කරගන්නා ආක‍්‍රමණිකයකු වශයෙනි.
අසේල රජු මරා දමා රජරට රාජ්‍යය අත්පත් කරගත් නමුදු, ඔහු හැමවිට ම කනස්සල්ලට පත්කළ කාරණා දෙකක් විය. එකක් නම් ස්වාධීනව පැවැති රුහුණු රාජ්‍යය ය. අනෙක නම් දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපිත කොට පැවැති එක්තරා අනාගත වාක්‍යයක් ය.
රජරට රාජ්‍යය අත්පත් කරගෙන එහි මධ්‍යයේ රත්නමාලී නම් මහා දාගැබක් තනවන ගාමණී අභය නැමැති රජකු පිළිබඳව වන මෙම අනාගත වාක්‍යය යළිත් සොයාගන්නා භට්ටාර නැමැති එළාර පුරෝහිතයා එළාර රජු සමඟ එකතුව එම අනාවැකියට එරෙහිව අතිශය සියුම් උපාය උපක‍්‍රම ගණනාවක්ම ක‍්‍රියාත්මක කරන්නේ ය.
එහෙත්, රුහුණු රාජ්‍යයේ කාවන්තිස්ස රජුටත්, විහාර මහා දේවි බිසවටත් දාව උපදින ගාමණී අභය කුමරුවා මේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් එළාර රජුට එරෙහිව ගොඩනඟන යුද ක‍්‍රියා මාර්ගය ලෝකයේ මිනිසුන් එතෙක් අත්දැක ඇති ඕනෑම යුද ක‍්‍රියාමාර්ගයකට වෙනස් එකක් වන්නේ ය.
තමා මහත් සේ විශ්වාසය තබන ආධ්‍යාත්මික දර්ශනයත්, ඒ දර්ශනය රැඳී තිබෙන රටත් වෙනුවෙන් ගාමණී අභය විසින් ආක‍්‍රමණිකයා බිම හෙළන ලද මුත්, ආක‍්‍රමණිකයා තුළ වුව පවත්නා මනුෂ්‍යත්වය ඔහු ඒ මොහොතේ දී ම ඔසොවා තබන්නේ ය. එසේ කිරීම මගින් ගාමණී අභය පළකළ මනුෂ්‍යත්වය විශ්වීය වූවක් වන්නේ ය.

මට කිසිකලක මිතුරන් මුණගැසී නැහැ, එහෙත්, මට ශ්‍රේෂ්ට සතුරකු මුණගැසී තිබෙනවා ............. ඔහු තමා ගාමණී අබය...මා මින් පසු ඔහුට දුෂ්ට ගාමණී යයි කියන්නේ නෑ ..- එළාර

No comments:

Post a Comment